ඇප හිමි වුනත් ඥාණසාර හිමියන් තවමත් වැලිකඩ

ඇප හිමි වුවද පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තවදුරටත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඒ, නියමිත ඇප කොන්දේසි සපුරා නොමැති වීම හේතුවෙන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කළේ යැයි චෝදනා දෙකකට වරදකරු කෙරුණු උන්වහන්සේට වසර 04 ක සිර දඬුවම් නියම වුණා.

එම සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා අදාළ අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේ උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙසයි.

ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

menu
menu