සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි ඛලීඩා ෂියාට නිදහස
බන්ධනාගාර ගතව සිටි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ විපක්ෂ නායිකා ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපති මොහමඩ් ෂහබුදීන් නියෝග කර තිබෙනවා.
ඒ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එම ධූයෙන් ඉල්ලා අස්වී රටින් පලාගොස් පැය කිහිපයකට පසුවයි.
ෂෙයික් හසීනාගේ ප්‍රධානතම විරුද්ධවාදියෙකු ලෙස සැලකෙන ඛලීඩා ෂියා බංග්ලාදේශයේ ප්‍රධානතම විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වනවා.
2018 වසරේදී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඛලීඩා ෂියාට වසර 17ක සිර දඬුවමක් නියම වුණා.
ඇය මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර අත්අඩංගුවේ සිටින විපක්ෂයේ සියලු දේශපාලන ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය විරෝධතාකරුවන් සියලුදෙනා නිදහස් කිරීමට ද බංග්ලාදේශ ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.
එරට හමුදා ප්‍රධානීන් සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ජනාධිපතිවරයා මෙම තීරණවලට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ.