ජනපති අනුරගේ දූෂණයට එරෙහි සටනට ඉන්දියාව සහ ජපානයේ සහය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අද මුණ ගැසුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණය වැදගත් බවයි.

එසේම ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද මහකොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ජපන් රජයේ පූර්ණ සහාය ලබා දෙන බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා පවසා ඇත්තේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද හමුවූ අවස්ථාවේදයි.

එහිදී ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ ජපානයේ රැකියා සඳහා අවස්ථා සලසා දීමට සහාය වන බවයි.

එමෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම සහ භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය වැනි ජයිකා අරමුදල යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී සෙන් හොංග් මහතා අතර හමුවක් ද අද සිදු වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබා දෙන බවටයි තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද අද සිදු වුණා. එහිදී බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා බි්‍රතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බවයි.

menu
menu