පිරමීඩ මුදල් වංචාකරුවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ මූල්‍ය ආයතනය තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළේදී සැකකාර අඹුසැමි යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගත් බවයි වාර්තාකරු පැවසුවේ.
52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර දිවයිනෙන් පළා ගොස් තිබුණා.
ඔහු අලුයම 12ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු කැටුව යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි, එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ සැකකරුගේ බිරිඳද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.