අද සිට දිවයින පුරාම ක්‍රියාත්මකයි



මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අද සිට දිවයින පුරා ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එවැනි අනතුරු අවම කර ගැනීම සඳහා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදී සිටිනවා දැයි එහිදී විශේෂ පරීක්‍ෂාවකට ලක්වනවා.

එමෙන්ම බස් රථ අපරික්ෂාකාරීව සහ අනතුරුදායක ලෙස ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදීම, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිත බස් රථ සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානයක් යොමු කරන බව පොලීසිය පැවසුවා.

අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන දුරකතන අංකවලට හෝ අදාළ කොට්ඨාස භාර පොලිස් නිලධාරින් වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර සෙසු රථ වාහන පරික්ෂා කිරීම් සඳහා දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරාම රථ වාහන නිලධාරින් යොමු කරන බවයි පොලිසිය පැවසුවේ

menu
menu