මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,200 ඉක්මවයි



2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් 31වනදා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් දෙසිය දහඅට බිලියන, දෙසිය හතළිස් අට මිලියන දහඅට දහසක් ලෙසටයි ඇස්තමේන්තුගත කර ඇත්තේ.

ඒ අනුව 2025 වසරේ වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 714ක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 508ක මුදලක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට රුපියල් බිලියන 496ක මුදලක් වෙන් කර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 473ක්.

ආරක්‍ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 442ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 271ක්.

menu
menu