වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් වූ බව කියන තරුණයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමට දින නියම වෙයි

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහර දීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බවයි.
ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.