අයි ඕ සි , සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 16කින්, ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 13කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

එම මිලට සමාන අයුරින් ලංකා අයි ඕ සි සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගත්තා.
සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිල එම සමාගම අඩුකළේ රුපියල් 10කින්.

එහි නව මිල රුපියල් 355ක් වනවා. සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 19කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 314ක් වන බවයි සයිනොපෙක් සමාගම පැවසුවේ.

කෙසේවෙතත් කිසිදු සමාගමක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපිරි ඩීසල් මිල අඩුකර නැහැ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420කටත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377ක මුදලකටත් තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම් පැවසුවේ.

menu
menu