දරුවාට පහරදුන් පියාට බන්ධනාගාරයේදී තැලුවාද? - දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර

ආහාර ලබාදෙමින් සිටියදී අමානුෂික ලෙස සිය කුඩා දැරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු එම දැරියගේ පියාට අනුරාධපුර බන්ධනාගාරය තුළදී පහරදුන් බවට පළවන වාර්ථා අසත්‍ය බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සැකකරු විසින් නිවසේදී සිය දැරියට අමානුෂික ලෙස පහරදෙන අයුරු ජංගම දුරකතනයකින් පටිගත කළ සැකකරුගේ පුත්‍රයා විසින් එය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

එම අමානුෂික පහරදීම පිළිබද බොහෝ දෙනා තුළ දැඩි කතාබහක් මතු වු අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කළා.

වැලිඔය පදිංචිව සිටි නිවසෙන් පළාගොස් පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුට ගනු ලැබුවේ තවත් කාන්තාවන් දෙදෙනෙකු ද සමඟින්.

ඒ අනුව සැකකරුවන් පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර කුකුල් චමින්ද අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එතෙක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුට බන්ධනාගාරය තුළදී රැඳවියන් පිරිසක් පහර දී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහිදී තුවාල ලැබූ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුනේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී දිසානායකගෙන් විමසීමක් කළා.

අනුරාධපුර බන්ධනාගාරය තුළදී හෝ බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරු රැගෙන යන අවස්ථාවේදී හෝ එවැනි පහර දීමක් සිදුව නොමැති බවත් සැකකරු රෝහල් ගත කෙරුණේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක වැඩිදුරටත් පැවසුවා.

menu
menu