සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරනේ නිවේදනයක්

උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමටත්, එකී ගැටළු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමකි. එබැවින් ඒ් පිළිබඳව ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව ඇතැයි අපගේ බලවත් විශ්වාසයයි. ඒ් අනුව 09 වන පාර්ලිමේන්තු කාල සීමාව තුළ ඒ් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන්ද සමස්ත විපක්ෂයෙන් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඉමහත් ඔිනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නෙමු.
මෙකී කරුණු වලට අදාලව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා ගරු විපක්ෂනායකතුමා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ගරු ජනාධිපතිතුමා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහයෝගය පළ කර ඇත. දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින බව අප දන්නෙමු. එකී සාධනීය අභිලාශයන් අප අගය කළ යුතුය.
මේ සියළු තත්ත්වයන් සළකා බැලීමේ දී වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගන්නා වටමේස සාකච්ජාවක් නොපමාව කැඳවමින් මෙම කරුණු නිරාකරණය කරගන්නා ලෙස අප නැවත වරක් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
මෙහිදි අප සැළකිල්ලට ගත යුතු හා අගය කල යුතු තවත් කරුණක් වන්නේ එක් රටක් පදනම් කරගනිමින් ජාතියක් ලෙස අප සපුරා ගත යුතු වැදගත් කරුණු වෙනුවෙන් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාවේ සැළකිය යුතු කණ්ඩායමක් ද ඉදිරිපත්ව සිටිමය. ඒ් පිළිබඳව මේ රටේ ජන සමාජය නියෝජනය කරන ප්‍රමුඛ පාර්ශ්වයන් ද සිය ආශිර්වාදය මේ වන විටත් පළ කර තිබිම ඉතා වැදගත් වනු ඇත. ඒ් අනුව මේ සඳහා ඔවුන්ගේද සහයෝගය හා සහභාගිත්වය ලබාගැනීම ද ඉතා වැදගත් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
එමෙන් ම කවර හේතුවක් මත හෝ මේ පිළිබඳව සිදු කරන සාකච්ජා මඟහැරීම ‌හෝ වර්ජනය නොකිරීම මේ රටේ සියළුම දෙමළ පක්ෂ ද ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවල වගකීමයි. මක්නිසාද යත් පටු දේශපාලනයෙන් බැහැරව උදා වී ඇති මෙම අවස්ථාව පැහැර හැරිය හොත් එය ජාතිද්‍රෝහි ක්‍රියාවක් ලෙස අනාගත පරපුරෙන් අප වෙත චෝදනා එල්ල විය හැකි නිසාය. ඒ් අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාර්ලිමේන්තුවෙන් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ සද්භාවයෙන් යුතුව මේ පිළිබඳව මැදිහත් වන ලෙසටය.
menu
menu