පද්මෙගේ කට උත්තරයෙන් මතුවූ ගිනි අවිය

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපළ දැනට විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලීසිය පැවසුවේ.

එම තොරතුරු අනුව විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක් සහ ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් තුළ එම ගිනි අවිය සහ පතොරම් තොගය සඟවා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ කැලණිය කඳවුරේ නිලධාරින්ද එක්ව තිබෙනවා.

menu
menu