වනඅලියා මැරූ සැකකරුවන් තිදෙනාගේ ඇප ප්‍රතික්ෂේප කෙරු අධිකරණය
හුළු අතු වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වලතාවයකින් හෙබි වෙඩි වැදීමක් හේතුවෙන් පාදයක ආබාධයක් හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන වනඅලියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් තිදෙනාට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ඇති බැවින් ඇප පනතේ 14(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් තිදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය (24දා) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව සියලු සැකකරුවන් ජනවාරි මස 8 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.
මෙසේ යලි රිමාන්ඩ් භාරයට පත් කළේ මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ.එම්. සිසිර සේනාධීර, ජේ.එම් ප්‍රසන්ත චලින්ද කුමාර සහ ජේ.එම්. වසන්ත විජය කුමාර යන සැකකරුවන් වනවා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා සඳහන් කළේ, අලියාට ගිනි තැබීම වීඩියෝ ගත කළ විශ්ව විද්‍යාල සිසුවාට සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවයි.
එම බලපෑම හේතුවෙන් අලියාට ගිනි තැබීමේ සිද්ධියේ මුල් වීඩියෝ දර්ශන මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇතැයි අවධාරණය කළ රජයේ අධි නීතිඥවරයා ඒ සඳහා නිශ්චිත කරුණු අනාවරණය කර ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුවාට අයත් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය බවද පවසා තිබෙනවා.

