ශිරන්තිට සහ නාමල් කැඳවීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 09.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.
ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02 ක කාලයක් ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් අද දිනයේ යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මීට පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳී නොසිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

