වත්මන් තත්ත්වය ගැන ජනපති විශේෂ සාකච්ඡාවක
රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ඒ, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි.
මෙම සාකච්ඡාව සඳහා අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහිදී බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබාදීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

