ක්ලබ් වසන්තට වෙඩි තැබූ වෙඩික්කරුගේ පාපෝච්චාරනය

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී එම ඝාතනයට සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණවී ඇත්තේ අදාළ වෙඩි තැබීමට පැමිණි අනෙක් වෙඩික්කරු පිළිබඳව ඔහු කිසිදු තොරතුරක් නොදන්නා බවයි.

අදාළ වෙඩි තැබීම සිදු වූ දිනයේ පමණක් ඔහු සමඟ සබඳතා පැවැත්වූ බවත් අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු පැවසූ බවත් ඉහළ පොලිස් නිලධාරියෙක් නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේවෙතත් වෙඩි තැබීමෙන් පසුව ඔවුන්ට සැගවී සිටීමට ආරක්ෂාව සැපයූ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳව ද පොලිසිය සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණවී තිබෙනවා.

ඒ අනුව අදාළ වෙඩි තැබීමට සම්බන්ධ එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

වෙඩික්කරු සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් ද තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද උසස් පොලිස් නිලධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම ඝාතන සිද්ධියට අදාළ 31 හැවිරිදි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, ෂොඩ් ගන් අවියක්, ටී 56 පතරොම් ඇතුළු විවිධ වර්ගයේ පතරොම් 283ක්, ටී 56 පතරොම් ගැබ් 2ක්, පිස්තෝල පතරොම් ගැබ් 2ක්, අත්විලංගුවක් හා ජංගම දුරකථන 3ක් ඇතුළු දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 හැවිරිදි වෙඩික්කරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

ඔහු හිටපු යුද හමුදා සෙබලෙකු ද වන බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබෙන්නේ.

සෙසු සැකකරුවන් දෙදෙනා අහුංගල්ල සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඉන් එක් සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අනෙක් සැකකරු විසින් වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි අනාවරණවී ඇත්තේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් ජූලි මස 08 වනදායි.

එහිදී ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලැබූවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 11 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

menu
menu