ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, එම පක්ෂයේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී දේශපාලන මණ්ඩලය රැස්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගාල්ලේ පැවති ජන රැලියක් අමතමින් පැවසුවේ.

ජනපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡා කිහිපයක්ම පැවැත් වුණා.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති එම සාකච්ඡා අවසන්ව තිබුණේ විසඳුමකින් තොරවයි.

එවන් පසුබිමක් තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද රැස්වනවා.

එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නම් කිරීමට නියමිත බවයි එම පක්ෂයේ දේශපාලන ආරංචි පැවසුවේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරාගේ නම යෝජනා වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙකඩ වන බව ස්ථිර බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පත් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද විමසීමක් කළා. එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට තමන්ගේ සහයෝගය ලබාදෙන බවයි.

menu
menu