ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්

වසර 10කින් පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජය ගනිමින්.

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ ලීඩ්ස්හීදී 2014 වසරේදීයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර දෙරටදී පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 10ක්.

එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වූ අතර සෙසු තරග සියල්ලම ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 263ක් පමණයි.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ලහිරු කුමාර ලකුණු 21කට කඩුලු 04ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 03ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් ද මිලාන් රත්නායක එක් කඩුල්ලක් ද දවා ගනු ලැබුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 124කදී රැස්කළ ලකුණු සංඛාව 127ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

ඇන්ජලෝ මැතීව්ස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 39කට දැවී ගියා.

දිමුත් කරුණාරත්නට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

දෙරට අතර පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරග ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්ත ද තරගාවලියේ ජය එංගලන්තයට හිමි වුණා. ඒ, මුල් තරග දෙකම එංගලන්තය ජය ගැනීම හේතුවෙන්.

menu
menu