මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි

ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයින මේ වන විට විදේශ විනිමය සංචිතය පහත වැටීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

වර්තමානයේ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන මූල්‍යකරණයට අනුව නිකුත් කරනු ලබන සුකුක් බැඳුම්කර ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 2001දී බහරේන් මහ බැංකුව ලොව පළමු සුකුක් බැඳුම්කරය හඳුන්වාදීමෙන් පසු මේ වන විට ලොව පුරා මුස්ලිම් රටවල ෂරියා නීතිය යටතේ පවතින එම බැඳුම්කර ක්‍රමවේදයට අනුගත වී ඇති අතර, ලොව සුකුක් වෙළෙඳපොළ වර්තමානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 300කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

2026 දී මාලදිවයිනේ ඩොලර් මිලියන 500 ක හිඟ සුකුක් ණය ඇති අතර, මෙතෙක් ලොව කිසිදු මුස්ලිම් රටක් සුකුක් බැඳුම්කර ගෙවීම් පැහැර හැරීමක් සිදු කර නැති බවත්, මාලදිවයිනට එවැනි පැහැර හැරීමක් සිදු කිරීමට ලොව මුස්ලිම් රටවල් ඉඩ නොදෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජූනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 395ක දළ සංචිත තිබුණත් රටේ භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 45ක් පමණ වනවා.

මේ වන විට මාලදිවයින් මූල්‍ය අධිකාරිය ඉන්දියාව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

menu
menu