නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් දුම්වැටි තොගයක් සහ තවත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

එම නිලධාරීන් විසින් භාරයට ගත් විද්්‍යුත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු සිය බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් දෙදෙනා සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

විද්‍යුත් දුම්වැටි 740ක් සහ තවත් දුම්වැටි 780ක් ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ, විවිධ ස්ථානවල කුඩා පාර්සල් ලෙස සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

මේ අතර තවත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් එලෙස ඔහු අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, පොතානේගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබලෙක්.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ විවිධ වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සොයාගෙන තිබෙනවා.

menu
menu