අමෙරිකාවේ ටික් ටොක් තහනම් කරන්නැයි අධිකරණයෙන් නියෝග



ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හෙට සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්‘ නම් තාක්ෂණික සමාගමට අයත්. 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ වුණා.

චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණා.

ඒ අනුව ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසයි.

එසේ සිදු නොකරන්නේ නම් හෙට සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට එරට අධිකරණය මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවද සඳහන්.

කෙසේවෙතත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බව අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

menu
menu