වාහන ආනයනයට අදාළව රජය විසින් කොන්දේසි 9 ක්

වාහන ආනයනයට අදාළව රජය විසින් කොන්දේසි 9 ක් පනවා තිබෙනවා.

ඒ, 2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන අද සිට ආනයනයට අවසර ලබා දෙමින්.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා එලෙස ආනයනයට අවසර හිමිවන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් ඒ සදහා කොන්දේසි පනවා තිබෙනවා.

ඒ, විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව එලෙස කොන්දේසි පැනවූ බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැකියි.

ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැකි වනවා.

ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට හෝ ආනයනකරුගේ නමට මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ, රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවටද කොන්දේසියක් පනවා තිබෙනවා.

මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු‍ ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.

එමෙන්ම ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතු බවට තවත් කොන්දේසියක් පනවා තිබෙනවා.

යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මෝටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික C¸F අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදු වනවා.

කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය නොකරන බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ කොන්දේසි අතරට ඇතුළත්.

මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ, ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු ද වනවා.

සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා නොදෙන බවද එම කොන්දේසිවලට අයත්.

දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එම මෝටර් වාහන රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතු වනවා.

menu
menu