අරගලයින් විනාශ වූ දේශපාලකයින්ගේ නිවාස වලට වන්දි ගෙවූ ආකාරය ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2022 වසරේ ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේ දී මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය පෙබරවාරි මස 05 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකල අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා 2022 වසරේ මැයි මස 09 වනදා අරගල සමයේ නිවාස විනාශ වූ හිටපු මැති ඇමතිවරු ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි වශයෙන් රුපියල් බිලියන 1යි දශම 22ක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළ බවයි.

ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2යි දශම 5ක්ව තිබියදී එම නීතිමය සීමාව අභිබවා මෙම දේශපාලකයින්ට ඉකුත් රජය විසින් වන්දි ගෙවා තිබූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් අනාවරණය වූ බව පෙත්සම්කරු කියා සිටියා.

මෙය පැහැදිලිවම රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවටයි පෙත්සම්කරු චෝදනා කරන්නේ.

ඒ අනුව අනීතික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, අනීතික ලෙස සිදුකල එම වන්දි ගෙවීම් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් අයැද තිබෙනවා.

ඊට අමතරව දේපළ හානි වූ මැති ඇමතිවරුන්ට විනිවිදභාවයකින් යුත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

menu
menu